"භික්ඛුවෙනි, සංඝයාට කරන දානය මහත් පලදායියයි කියලා මම කියමි."

— අංගුත්තර නිකාය

🪔

සංඝික දානය යනු කුමක්ද?

සංඝික දානය යනු තනි භික්ෂූන් වහන්සේ නමකට පමණක් නොව, සම්පූර්ණ මහා සංඝ රත්නයම නියෝජනය වන පරිදි සිදුකරන පූජාවකි. එහිදී අපගේ සිත තුළ "මා මේ පූජාව කරන්නේ සමස්ත මහා සංඝ රත්නය උදෙසාය" යන උදාර හැඟීම තිබිය යුතුය.

"මහණෙනි, පුද්ගලික දානයට වඩා සංඝයා විෂයෙහි දෙනු ලබන දානය (සංඝික දානය) මහත්ඵල යැයි මම කියමි."

— දක්ඛිණාවිභංග සූත්‍රය, මජ්ඣිම නිකාය

📜 දානයේ අනුසස් පහකි

සත්පුරුෂ ධර්මය අනුගමනය කරමින් දන් දෙන තැනැත්තාට ලැබෙන අනුසස්:

1.
බොහෝ ජනයාට ප්‍රිය වෙයි, මනාප වෙයි

සත්පුරුෂ ධර්මය අනුගමනය කරමින් දන් දෙන තැනැත්තා (බොහෝ අයට) ප්‍රිය වෙයි.

2.
ශාන්ත වූ සත්පුරුෂයෝ ඔහු ඇසුරු කරති

සංයමයෙන් යුත්, බ්‍රහ්මචාරී වූ, ශාන්ත වූ සත්පුරුෂයෝ ඔහුව ඇසුරු කරති. ඒ සත්පුරුෂයෝ ඔහුට සියලු දුක් දුරු කරන්නා වූ ධර්මය දේශනා කරති. ඔහු මෙලොවදී ඒ ධර්මය අවබෝධ කරගෙන ආශ්‍රව රහිතව (කෙලෙස් නසා) පිරිනිවන් පාන්නේය.

3.
කල්‍යාණ වූ කීර්ති ශබ්දය උස්ව පැන නගියි

යහපත් කීර්තියක් සමාජය තුළ පැතිරේ.

4.
ගිහි ධර්මයෙන් (ගිහි වත් පිළිවෙත්වලින්) නොපිරිහුණු අයෙක් වෙයි

ඕනෑම පිරිසක් මැදට බියක් සැකක් නැතිව විශ්වාසයෙන් යුතුව යාමට ශක්තිය ලැබේ.

5.
කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි

මරණින් පසු යහපත් උපතක් කරා ගමන් කරයි.

ඇසුර: දානානිසංස සූත්‍රය, අංගුත්තර නිකාය, පංචක නිපාතය

⏰ සුදුසු කාලයේ දෙනු ලබන දාන (කාල දාන) පහකි

මසුරු මල දුරු කළ, පරිත්‍යාගශීලී වූ, නුවණැති ජනයා සුදුසු කාලයෙහි දන් දෙති:

  • 1. පැමිණි අමුත්තාට දන් දෙයි. (ආගන්තුකස්ස දානං දෙති)
  • 2. ගමනක් යන තැනැත්තාට දන් දෙයි. (ගමිකස්ස දානං දෙති)
  • 3. ගිලන් වූ (රෝගී) තැනැත්තාට දන් දෙයි. (ගිලානස්ස දානං දෙති)
  • 4. දුර්භික්ෂ කාලවලදී (ආහාර හිඟ වූ කල) දන් දෙයි. (දුබ්භික්ඛෙ දානං දෙති)
  • 5. යම් අලුත් අස්වැන්නක්, අලුත් පලදාවක් ලැබුණු කල්හි එය පළමුව සිල්වතුන් උදෙසා පූජා කරයි. (යානි නවසස්සානි නවඵලානි, තානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති)

සෘජු ගුණයෙන් යුත්, අකම්පිත වූ ආර්යයන් වහන්සේලා උදෙසා පහන් සිතින් දෙන ඒ දානය මහත්ඵල මහානිසංස වේ.

එම දානය පිළිබඳව යමෙක් සතුටු වේද (අනුමෝදන් වේද) හෝ එයට වතාවත් කරමින් උදවු උපකාර කරයිද, ඔවුන්ගේ පිනඅඩු නොවේ. ඔවුහු ද ඒ පිනෙහි කොටස්කරුවෝ වෙති.

එබැවින්, කොතැනක දුන් විට මහත්ඵල වේද, එවැනි තැනක පසුබට නොවන සිතින් යුතුව දන් දිය යුතුය. මන්ද, පරලොවදී සත්වයන්ට පිහිට වන්නේ තමන් කරගත් පිනම පමණක් වන බැවිනි.

ඇසුර: කාල දාන සූත්‍රය, අංගුත්තර නිකාය, පංචක නිපාතය

🍚 දන් දෙන දායකයා දානය පිණිස භෝජනයක් දීමෙන් ලබන්නාට කරුණු පහක් පිරිණමනු ලබයි

1. ආයුෂ ලබා දෙයි. (ආයුං දෙති)

2. වර්ණය (ශරීර පැහැය) ලබා දෙයි. (වණ්ණං දෙති)

3. සැපය ලබා දෙයි. (සුඛං දෙති)

4. බලය ලබා දෙයි. (බලං දෙති)

5. අවබෝධය ලබා දෙයි. (පටිභානං දෙති)

ආයුෂය, බලය, වර්ණය සහ ප්‍රතිභානය (අවබෝධය) ලබා දෙන, සැපය ලබා දෙන්නා වූ ධීර (නුවණැති) තැනැත්තා තමා ද උසස් වූ සැපයට පත් වන්නේය.

ආයුෂය, බලය, වර්ණය, සැපය සහ ප්‍රතිභානය ලබා දෙන ඒ දායකයා (ඒ පින හේතුවෙන්) උපදින උපදින සෑම තැනකදීම දීර්ඝායුෂ ඇත්තෙක් සහ යස පිරිවර ඇත්තෙක් වන්නේය.

ඇසුර: භෝජන සූත්‍රය, අංගුත්තර නිකාය, පංචක නිපාතය